Sunday, April 20, 2008

සිංහල බසින් දේශීයකරණය වන පරිගණකය

පසුගිය වසරේ (2007) ජුනි මස ආසාවට දේශීයකරණය ගැන තිබු අමාරුව නිසා ලියු ලිපියක් ඉමහත් පරිශ්‍රමයකින් යුතුව සිළුමිණ පත්‍රයේ 2007 දෙසැම්බර් මස 09 දින 23 පිටුවේ පළකරවා ගැනීමට හැකි විය. "පරිගණකය අපේ බසට හැරේ" යන සිරස සහිතව පළවිය (මගේ නම රහිතව). මෙම කටයුතු සඳහා සහයදුන් වසන්ත සහ ශානුට ගොඩක් ස්තුතියි.










------------------------------------------------ලිපිය--------------------------------------------------------------------------

සිංහල බසින් ස්වදේශීයකරණය වන පරිගණකය

60 දශකයේ අග භාගයේදී පළමු වරට ලංකාවට පැමිණි පරිගණක තාක්‍ෂණය, අද වන විට රාජ්‍ය සහ රාජ්‍ය නොවන ව්‍යපෘති මගින් යම්තාක් දුරට ඈත ගම් දනව් කරා ගෙනයාමක් සිදුව තිබේ. එමෙන්ම බොහෝමයක් රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ආයතනික තොරතුරු දැනටමත් අන්තරජාලයට එක් වී ඇත. එපමණක් නොව, බොහෝ දිනපතා සහ සති අන්ත පුවත්පත් ද මේ වන විට අන්තරජාලයට එක් වී තිබේ

නමුත් මෙලෙස අප රටේ පරිගණක තාක්ෂණය වර්ධනය වෙමින් පැවතුණ ද, ඉංග්‍රීසි භාෂාව භාවිතයේ දී ඇති අපහසුතාව නිසා බොහෝ දෙනෙකු මෙය උගැන්ම අතපසු කිරීමට හෝ නවතා දැමීමට පෙළඹී ඇත. වෙනත් උසස් අධ්‍යාපනික කටයුතු හිදී මෙන්ම පරිගණක අධ්‍යාපනයේ දීද ඉංග්‍රීසි භාෂාව ඉතා වැදගත් මාධ්‍යයක් බව සත්‍යකි. මන්ද බොහෝ පරිගණක අධ්‍යපනික තොරතුරු ඇත්තේ ඉංග්‍රීසියෙන් බැවිනි. සිංහල භාෂාවෙන් දැනට ඇති සම්පත් ප්‍රමාණවත් නොවන අතර, ප්‍රායොගික භාවිතයේදීද එහි අතුරුමුහුණත සමන්විත වන්නේ ඉංග්‍රීසි බසින් පමණි.

විභාග දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව පසුගිය වසරේ (2006) .පො..(සා.පෙ.) විභාගයෙන් ඉංග්‍රීසි විෂය සමත්ව ඇත්තේ විභාගයට පෙනි සිටි සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 36.82% පමණි. එනම් 2006 වසරේ දී 63.18% ක් හෙවත් විභාගයට පෙනි සිටි 258,975 ක් වූ සිසුන්ගෙන් 163,620 පමණ සිසුන් පිරිසක් ඉංග්‍රීසි විෂය අසමත් ව සිටිති. 2005 වසරේදී මෙම සමත් ප්‍රතිශතය 36.18% ක් විය. මේ අනුව දළ වශයෙන් අප රටේ ජනතාවගෙන් 50% වඩා වැඩි පිරිසකට ඉංග්‍රීසි මාධ්‍යයෙන් කටයුතු කරගැනිමේ දී අපහසුතා ඇති වන බවට අනුමාන කළ හැකි ය.

මේ භාෂාමය ගැටලු නිසාම බොහෝ දෙනෙකුට පරිගණක අධ්‍යාපනය සහ භාවිතය ගැටලුවක් හෝ සිහිනයක් වීමට ඉඩ තිබේ. නමුත් දැන් මෙම භාෂාමය වැට කඩුලු බිද දමමින් අපගේ මව් බසින්ම පරිගණක භාවිතා කළ හැකි අයුරින් පරිගණක මෙහෙයුම් පද්ධති සහ වැඩ සටහන් ස්වදේශීයකරණය(Localization) සඳහා පියවර තබා ඇති අතර පරිගණකයේ අතුරුමුහුණත් සිංහල බසින් හැඩගැන්වෙමින් පවතී.

ඕනෑම දෙයක් අලුතින් ඉගෙන ගැනිමේදි මව් භාෂාවෙන් ඉගෙනීම වඩාත්ම පහසු සහ කාර්යක්‍ෂම ක්‍රමය බවට සැකයක් නැත. මෙලෙස මව් බසින් පෝෂිත පරිගණක යන්ත්‍ර පාසැල්, පිරිවෙන් සහ නැණසළ වැනි ප්‍රදේශීය පරිගණක මධ්‍යස්ථානවල නිසියාකාරව පිහිටුවීමෙන් ගම්බද දුවාදරුවනට මවුබසින් ස්වයං අධ්‍යයනයට අවස්ථාවක් ලැබීමත්, ඔවුන්ගේ සහජ දක්‍ෂතා සහ නිර්මාණශීලී භාවය එළි දැක්වීමට අත්වැලක් වනු නිසැකයි. තවද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබන වසරේ සිට අ.පො.. (සා.පෙ) තොරතුරු සංනිවේදන තාක්‍ෂණය (ICT) ප්‍රශ්න පත්‍රයත්.පො.. (.පෙ) සාමාන්‍ය තොරතුරු තාක්‍ෂණය (GIT) ප්‍රශ්න පත්‍රයත් සිංහල සහ දෙමළ බසින් සැකසීමට තීරණය කර ඇති අතර මව්බස සහිත පරිගණක මෙහෙයුම් පද්ධති පැමිණිම මෙම කටයුතු සඳහා තවත් රුකුලක් වනු නොඅනුමාන ය.

තවද බසක පැවැත්මට එම බස නිරන්තර භාවිතයේ තිබීම අත්‍යවශ්‍ය වේ. යම් කිසි මාධ්‍යයක් ඔස්සේ ජනයා එම බස භාවිතා කළ යුතුවේ. එනම් බසක පැවැත්ම උදෙසා මාධ්‍යයක් අත්‍යවශ්‍ය වේ. ගල් පුවරු මතින් පුස්කොලයටත් එතැනින් මුද්රිත මාධ්‍යයටත්, ගුවන් විදුලි සහ රුපවාහිනිය වැනි විද්‍යුත් මාධ්‍යයන් දෙසටත් කාලයාගේ ඇවෑමෙන් වෙනස් මාධ්‍යයන් හරහා විකාශනය වූ බස පෝෂණය සඳහා නවතම මාධ්‍යය ලෙස පරිගණක පැමිණ ඇත. මේ යුගයේ නවතම මාධ්‍යය වන පරිගණකය සමඟ හරි හරියට සිංහල බස සුසර වීම සිංහල භාෂාවේ මතු පැවැත්ම සඳහා මහෝපකාරි වනු ඇත. මෙය ස්වදේශීයකරණයේ තවත් සුවිශේෂි අතුරුඵලයකි.

මෙම ස්වදේශීයකරණය, ඉංග්‍රීසි සාක්‍ෂරතාව කෙරෙහි අනිසි ලෙස බලපැහැකි බවට තර්කයක් කෙනෙකුට ඉදිරිපත් කිරීමට පුළුවන. නමුත් අප සිංහලයින් වශයෙන් සිංහල සාක්‍ෂරතාව ද පවත්වාගත යුතු නොවේ ද? ඉංග්‍රීසි සාක්‍ෂරතාව නංවනු පිණිස සිංහල භාෂාව පාගා දැමිය නොහැකි ය. එමෙන්ම අප රටේ සිංහල පුවත්පත් මඟින් ඉංග්‍රීසි සාරක්‍ෂරතාව බි වැටි තිබේ ද? නැත. එසේ නම් තවත් නවීනතම මාධ්‍යයක් වන පරිගණකය ස්වදේශීයකරණය වීම මගින් ඉංග්‍රීසි සාක්ෂරතාවට කිසිසේත් අනිසි බලපෑමක් සිදු විය නොහැකි ය. තවද, ලිනක්ස් පරිගණක මෙහෙයුම් පද්ධතියේ ඇති සුවිශේෂී ගුණයක් නිසා අවශ්‍ය විටෙක ඉතා පහසුවෙන් ඉංග්‍රීසි බසට මාරු වීමට වුව ද හැකියාව ඇත.

මෙලෙස ස්වදේශීයකරණයෙන් යුතුව නිකුත් වන පරිගණක මෙහෙයුම් පද්ධතිවල මිල බොහෝ දෙනෙකුට පැනනගින බාධකයකි. මෙයට ද විසඳුමක් තිබේ. ස්වදේශීයකරණයෙන් යුතු ලිනක්ස් (Linux) මෙහෙයුම් පද්ධතිය සමඟ සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂා 3ම සහිත මෙහෙයුම් පද්ධති නොමිලේම ලබා ගත හැකි අතර පරිගණකය සඳහා වැය වන්නේ දෘඩාංග සඳහා මිල පමණයි. එමෙන්ම ඉංග්‍රීසි දැනුම නැතිම පුද්ගලයකුට වුව ද සිංහලින්ම ද ඉංග්‍රීසි දැනුම ඇත්තකුට එම පරිගණකයේම ඉංග්‍රීසියෙන් ද පරිගණකය භාවිතා කළ හැකි ය.

දැනට කාර්යාලීය ලේඛන සැකසුම්, පැතුරුම්පත්, විද්‍යුත් තැපැල් යැවීම, අන්තර්ජාලයට පිවීසිම ආදී කටයුතු සඳහා වන මෘදුකාංග ස්වදේශීයකරණය වෙමින් පවතින අතර නුදුරු අනාගතයේ එම පද්ධති වෙළඳපොළට පැමිණිමට නියමිතයි. මෙලෙස ස්වදේශීයකරණයට ලක් වී තිබෙන මෘදුකාංග බොහෝමයක් සාමාන්‍ය පොදු බලපත්‍රයක් යටතේ පැමිණෙන මෘදුකාංගවේ. සරලව පවසනවානම් නොමිලේ ලබ ගතහැකි මෘදුකාංගවේ.

තවද දැන් වෙළඳපොලට එන නවතම පරිගණක මෙහෙයුම් පද්ධති සිංහල ලිවීමට සහය ලාබා දී තිබිම ද ඉතා වැදගත් කරුණකි. මේ නිසා පරිගණකය මිල දි ගත් පසුව සිංහල යතුරු ලිවීම සඳහා අදාල අක්‍ෂර වෙනම ස්ථාපනය කළ යුතු නොවන අතර අමතර මුදල් වියදම් කිරීමක් අවශ්‍ය නොවේ. මේ පිළිබද පාරිභෝගික ජනතාව දැනුවත් ව සිටිම වඩා වැදගත් වේ.

මෙම ස්වදේශීයකරණ කටයුතු සඳහා මූලික ව යොදා ගැනෙනුයේ අන්තර්ජාතිකව පිළිගත් යුනිකෝඩ් (Unicode – Universal Multiple Octet Coded Character Set) සම්මතයයි. එපමණක් නොව, මෙය දේශීයවද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ප්‍රමිති අංක SLS 1134;2004 යටතේ සහතික කර ඇත.

මෙම ස්වදේශීයකරණය අප රටට පමණක් බලපැවැත්වෙන්නක් නොවේ. අද වන විට ලෝකයේ මහා බලවතුන් පවා ස්වදේශීයකරණයේ නෙලාගෙන ඇත. ලොව බලවතුන් වන චිනය, ජපානය, ජර්මනිය, රුසියාව සහ කොරියාව වැනි රටවල් පරිගණක පද්ධති හා ඒ ආශ්‍රිත සියලු අධ්‍යාපනික මූලාශ්‍ර ස්වදේශීකරණය කරමින් පෙරට යයි. තවද අසල්වැසි ඉංදියාවේ ස්වදේශීයකරණ කටයුතු වල වේගවත් බව නිසාම හින්දි, ගුජරාති, පංජාබි, බෙංගාලි සහ දමිළ භාෂාවලින් පරිගණකය මේ වන විටත් සැරසී අවසන්. ජනප්‍රියතම ලිනක්ස් පරිගණක මෙහෙයුම් පද්ධතියක් වන ෆෙඩෝරා (Fedora) මෙහෙයුම් පද්ධතිය තුළ ඉහත නම් සඳහන් වූ භාෂා ඇතුළුව ලොව භාෂා 70 වකට වඩා සංවර්ධන කටයුතු සිදු කර අතර එම භාෂා අතරට සිංහල භාෂාව ද ඇතුළත්ව තිබීම සිංහලයින්ගේ සහ සිංහල බස භාවිතා කරන සියලු දෙනාගේ වාසනාවකි.

තුන්වනලෝකයේ අපට ජාත්‍යන්තරයෙන් යහපත් ප්‍රතිඵලයක් ලෙස ලැබුණු පරිගණකය ස්වදේශීයකරණය මඟින් ප්‍රශස්ත ලෙස භාවිතා කරමින් බසත් රකිමින් රටත් දියුණුව කරා ගෙනයා හැකි ය. ගෙන යා යුතු ය.

මේ පිළිබඳව ඔබටත් වැඩි යමක් අන්තර්ජාලයේ සොයා බැලීමට අවශ්‍යනම් පහත සබැදියන් (Links) පිරික්සා බලන්න.

ෆෙඩොරා මෙහෙයුම් පද්ධතිය http://fedoraproject.org/wiki/sinhala
යුනිකෝඩ් තාක්‍ෂණය
www.unicode.org
සිංහල යුනිකෝඩ් ලබාගැනීමට
www.siyabas.lk
ශ්‍රී ලංකා ලිනක්ස් සමූහය www.linux.lk


ඩනිෂ්ක නවින්
snavin@fedoraproject.org

3 comments:

Nilaksha said...

හොඳ ලිපියක් ඩනිෂ්ක! පුලුවන් නම් තවත් ලියන්න.
ඔය ආණ්ඩුවේ පත්තර කොහොමත් අනුන්ගේ දෙවල් නම් නොදා කොල්ලකන එකනේ කරන්නේ... දානකොට හැම පත්තරේකටම දාන්න. :)

ඩනිෂ්ක said...

ස්තුතියි නිලක්‍ෂ,
මට අවශ්‍ය උනේ වැඩියෙන්ම කියවන පුවත් පතක දාගන්න. ඔව්, අනිවාර්යෙන්ම තව ලියනවා පුළුවන් විදියට, ඉඩ ලැබෙන විදියට. එතකොට එකම පුවත්පතකට සීමා නොවෙන්නයි බලාපොරොත්තුව.

mathstutor said...

මම සිංහල බ්ලොග් වලට අලුත් නමුත් මමත් මේ ‍වැඩේට කැමතියි ගොඩක්